නිත්තවෙල ක්රීඩාංගණයේදී ඉදිරි රග්බි තරග පැවැත්වීමට සුදුසු ආරක්ෂක සැලසුමක් හා ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දින 7ක් ඇතුළත ලබා දෙන ලෙස ශ්රී ලංකා රග්බි සංගමය මහනුවර ක්රීඩා සමාජයට දැනුම් දෙයි.
නිත්තවෙල ක්රීඩාංගණයේ පැවති සීඑච් ඇන්ඩ් එෆ්සී පිල හා මහනුවර ක්රීඩා සමාජය සමඟ තරගය ලකුණු 24ට 24ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කිරීමත් සමඟ තරගය නැරඹීමට පැමිණ සිටි එක්තරා කලහකාරී පිරිසක් ක්රීඩා පිටියට කඩා වැදී තරග විනිසුරුට පහරදීමට තැත් කිරීම හා සීඑච් පිලේ පුහුණු කළමනාකාරීත්වය හා ආධාරකරුවන් අපහසුතාවට පත්වන සේ හැසිරෙමින් විශාල කලබගෑනියක් ඇති කිරීම පිළිබඳව ශ්රී ලංකා රග්බි විධායක කමිටුව සිදු කළ විශේෂ පරීක්ෂණයේදී මේ බව තීරණය විය.
මහනුවර ක්රීඩා සමාජයේ නිලධාරීන් ද කැඳවා කරුණු විමසමින් හා සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසු මේ තීරණයට එළැඹි බව ශ්රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්ර ප්රනාන්දු මහතා අප කළ විමසුමකදී පැවසීය.
තරගයක් නිමාවට පත්වීමෙන් පසු අතට අතදී සුහදතාව පළ කිරීම වෙනුවට ගුටි බැට හුවමාරුවකට සූදානම් වන තත්ත්වයක් නිත්තවෙල ක්රීඩාංගණයේ පැවතීම කනගාටුදායක බවත්, එවැනි සිද්ධීන් හෙළා දකින බවත් සභාපතිවරයා පැවසීය.
“නිත්තවෙල ක්රීඩාංගණයේ ඉදිරි රග්බි තරග පවත්වනවා නම් ආරක්ෂාව උපරිමව තිබිය යුතුයි. නැත්නම් නිත්තවෙලට තහනමක් හෝ ප්රේක්ෂකයන් නැතිව තරග පැවැත්වීම කරන්න සිදු වෙනවා. යළිත් මේ වගේ දෙයක් වෙන්න බෑ. රග්බි විධායක කමිටුව ඒකමතිකව මේ පිළිබඳ තීරණයක් ගත්තා” පවිත්ර ප්රනාන්දු මහතා පැවසීය.
වසර ගණනාවකට පසු රග්බි තරගයකදී මහනුවර පිල පරාජය කිරීමට හෝ ලකුණු සම කර ගැනීමට හෝ නොහැකිව සිටි පසුබිමක සීඑච් ඇන්ඩ් එෆ්සී පිල දක්ෂතා දැක්වීමට සමත් වූවේය.
අන්තර් ක්රීඩා සමාජ තරගවලදී පමණක් නොව ගෙවුණු කාලයේ පැවති ඇතැම් පාසල් රග්බි තරග නිමාවීමෙන් පසුවද නිත්තවෙල ක්රීඩාංගණයේ කලහකාරී හැසිරීම් දිගින් දිගටම දක්නට ලැබුණු අතර, පොලිස් ආරක්ෂාව මැද වුවද, කලහකාරීහු ක්රීඩාංගණයට කඩා වැදුණහ







