කවිජ ගමගේගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව පැවති 119 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලකුණු 148කින් ජය ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විදුහල සමත් විය.
මේ තරගයේ ජය කිංග්ස්වුඩ් විදුහල සතු වූයේ වසර 68කට පසුව වීම කැපී පෙනෙන අතර, ඔවුන් අවසන් වරට මේ තරගය ජය ගෙන තිබුණේ 1958 වසරේදීය.
අස්ගිරිය ක්රීඩාංගණයේ පැවති මේ තරගයේදී කිංග්ස්වුඩ් පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 226ක් රැස් කළ අතර, ධර්මරාජ පළමු ඉනිම ලකුණු 160කට සීමා විය. ලකුණු 66ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ කිංග්ස්වුඩ් පිල කඩුලු 4ක් දැවී ලකුණු 248ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූයේ ධර්මරාජයට ලකුණු 315ක ඉලක්කයක් ලබා දෙමිනි. එම ඉලක්කය හමුවේ ඔවුන්ට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 166ක් පමණි.
මේ තරගයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන කවිජ ගමගේ කිංග්ස්වුඩ් පළමු ඉනිමේ ලකුණු 112ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේදී ඉනිම දෙකේදී කඩුලු 8ක් දවා ගැනීමට ද සමත් විය. කිංග්ස්වුඩ් දෙවැනි ඉනිමේදී ආදිල් ශෙරිෆ් ලකුණු 71ක් රැස් කළ අතර, පන්දු යැවීමෙන් කවිජට අනගි සහයක් දුන් කෙනුල පිහිලියන්ග පළමු ඉනිමේදී ලකුණු 42කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 54කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
ධර්මරාජ පිල වෙනුවෙන් මන්දිල් ගුණවර්ධන ලකුණු 59ක් රැස් කළ අතර, ශෂිත බණ්ඩාර කිංග්ස්වුඩ් පළමු ඉනිමේදී කඩුලු 5ක් දවා ගත්තේය.






