ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන ජූලි 8 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියම කළේය. එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවේ.
අධිකරණයේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු මෙන්න:
📌 හිටපු ජනාධිපති ගෝඨාභයගේ ප්‍රකාශය:
විමර්ශන නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. අදාළ ලේකම් දීමනාව තමන් ලබාගත් බවත්, තමාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් එම මුදල් ගෙවීමට මූල්‍ය අංශ ප්‍රධානියාට නියම කර තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
📌 විශේෂ ව්‍යාපෘති අංශයේ කෝටි 22ක අවභාවිතය:
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත. එම අංශය හරහා පුද්ගලයින් 135 දෙනෙකු පමණ බඳවාගෙන තිබූ අතර, එහි බඳවා ගැනීම්, වාහන හා ඉන්ධන සඳහා රුපියල් කෝටි 22කට වැඩි රාජ්‍ය මුදලක් වැය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
එම අංශයේ සේවකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව, එහි කිසිදු වැඩක් සිදු නොවූ බවත්, සිදුවූයේ සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතු පමණක් බවත් අනාවරණය වී ඇත.
📌 විත්ති පාර්ශවයේ තර්කය:
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා චෝදනා කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි විමර්ශනයකින් තොරව බවයි. ඔහු වැටුප් දෙකක් ලබාගත් බවට සාක්ෂි නැති බවත්, සේවකයින් බඳවා ගැනීම් හා වාහන වෙන් කිරීම් සිදු කළේ ජනාධිපති ලේකම්වරයා මිස සැකකරු නොවන බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, සැකකරු ඇප මත මුදා හැරියහොත් විමර්ශනවලට බාධා විය හැකි බව විමර්ශන නිලධාරීන් පෙන්වා දුන් අතර, ඒ අනුව ඇප නියෝගය ජූලි 8 තෙක් කල් තැබිණි.






