මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකා බලධාරීන් ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ සාර්ව ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු (Evan Papageorgiou) මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙරට සිදුකළ නිල සංචාරය අදින් (30) නිමවීමට නියමිත අතර, දිවයිනෙන් පිටත්ව යෑමට ප්‍රථම අද පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
7 වන සමාලෝචනය වසර අගදී
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දූත මණ්ඩල ප්‍රධානියා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අගභාගයේදී විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ 7 වන සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ නිල සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියටම
ගෝලීය වශයෙන් බාහිර කම්පන අඛණ්ඩව සිදුවිය හැකි බැවින්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රමුඛතාව විය යුත්තේ දැනට දියත් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ තිරසාරව ඉදිරියට ගෙනයෑම බව ඊවන් පැපගෙයෝර්ගියු මහතා මෙහිදී අවධාරණය කළේය. රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කළ හැක්කේ එම ප්‍රතිසංස්කරණ වේගය එලෙසම පවත්වා ගැනීමෙන් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
“මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතාමත් සුදුසුයි. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩ කැපවීම අත්‍යාවශ්‍යයි.” – ඊවන් පැපගෙයෝර්ගියු (IMF දූත මණ්ඩල ප්‍රධානී)
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වැදගත්කම යළිත් මතක් කර දුන් IMF නියෝජිතයා, ජාත්‍යන්තර අභියෝග හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ නම්‍යශීලී ප්‍රතිචාරයන් අගය කිරීමටද අමතක නොකළේය






